කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්
දෙවියන්ට පමණක් ආවේණික වූ උන්වහන්සේගේ (2) සර්වඥාණය;
සර්වඥාණි දෙවියන්වහන්සේ.
"ඔවුන් ස්වාමින්වහන්සේ නොදක්නාසේක, යාකොබ්ගේ දෙවියන්වහන්සේ නොසළකන සේකැයි කියති. අඥාණයෙනි, තෙපි කවදා ඥාණවන්ත වන්නහුද? කණ පිහිටවූ තැනැන්වහන්සේට නොඇසෙන්නේද? ඇස සෑදු තැනැන්වහන්සේට නොපෙනෙන්නේද?" -ගීතාවලිය 94:9
සර්වඥාණයෙන් පරිපූර්ණ දෙවියන්වහන්සේ යනුවෙන් අදහස් වන්නේ, සියල්ල දන්නාවූ තැනැන්වහන්සේ යන අරුතයි. උන්වහන්සේ ගෙන් සැඟවුන කිසිදෙයක් නොමැත යන අර්ථයද එතුල ගැබ්ව තිබෙයි. ඒ අනුව මිනිසුන්ට මෙන් නොව නුමුත් දෙවියන්වහන්සේ ඉදිරියේ සියල්ල එකසේ විවුර්තව සැමවිටම තිබෙන බවත් එබැවින් උන්වහන්සේ නොදන්නාවූ කිසි අදහසක් නොමැත යන අදහස එය ඉදිරිපත් කරයි.
“මම වනාහි අන්තිමය මුල පටන්ද, තවම සිද්ධ සිද්ධනුණ දේ පුරාණයේ පටන්ද දන්නාවුත් තැනැන්වහන්සේය.” යෙසායා 46:10
“නුඹ ගර්භයෙහි සාදන්නට පළමුවෙන් නුඹව හඳුනන්නෙමි.” යෙරෙමියා 1:5
දෙවියන්වහන්සේ සතු උන්වහන්සේගේ මේ සර්වඥාණය ගැන පැහැදිලි විස්තරයක් 139 වැනි ගීතාවලියද සපයයි.
දෙවියන් යනු සර්වබලයෙන් පිරි අයෙකු මෙන්ම උන්වහන්සේ සර්ව ඥාණයෙන්ද පරිපුර්ණ අයෙකු ලෙසින් පවසන විට එයින් අදහස් කෙරෙන්නේ, දෙවියන් සතු උන්වහන්සේගේ බලයට කිසිම සීමාවක් නැතිවාක් මෙන්ම උන්වහන්සේ සතු උන්වහන්සේගේ ඥාණයටද සීමාවක් නොමැති බවත් පැවසීමයි.
එබැවින් විශ්වයේ දැනගත යුතු යමක් ඇද්ද, ඒ සියල්ලම උන්වහන්සේ දන්නා බැවින්, අළුතින් යමක් දැනගැනීමේ අවශ්‍යතාවය මිනිසාට මෙන් දෙවියන්වහන්සේට නොමැති බවත් එය පෙන්වයි. අතීතයේ සිදුවූ සියළු දේ සහ දැන් සිදුවෙමින් පවතින දේවල් මෙන්ම, ඉදිරියේදී සිදුවන්නට යන සියලු දේ ගැන පවා දෙවියන්වහන්සේ හොඳින් දන්නා බැවින්, දෙවියන්වහන්සේට පමණක් ආවේණික වූ ඒ විශේෂ ස්වභාවය දෙවියන්වහන්සේගේ දේවත්වය ගැනත් අපට යමක් පවසයි.
මේ අදටත් දෙවියන් නොඅදහන මිනිසුන් පවා තමන්ට අසාදාරනයක් වන විටදී ඉහලට අත් ඔසවමින්, නොපෙනෙන ඇත්ත උඩ ඉන්න දෙවියන් දන්නා බවට අහස දෙස බලාගෙන කියා සිටින්නේද, සමස්තයක් හැටියට දෙවියන් යනු සර්වඥානයෙන් පිරි අයෙක් බවට ඇති පිළිගැනීම උඩයි. එය එසේ වුවත්, දෙවියන් යන ඒ සත්‍යය පිළිගැනීමට ඇති අකමැත්ත නිසාම තවත් සමහරුන් උන්වහන්සේගේ මේ ගුණධර්මය අල්ලාගෙන ඒ තුලින් දේවත්වය විවේචනය කිරීමටද උත්සාහ කරන අවස්ථා තිබෙයි.
දෙවියන්වහන්සේගේ සර්වඥාණය යන ඒ ස්වභාවය අදාළ කරගනිමින් උන්වහන්සේගේ දේවත්වය විවේචනය කරන ඇතැමුන් ගෙණෙන එක තර්කයක් වන්නේ; සර්ව ඥාණයෙන් පරිපූර්ණ වූ දෙවියන්වහන්සේ සියල්ල හොඳින් දන්නා බැවින් මොලොව අපරාධ සිදුවීමට උන්වහන්සේ ඉඩහරින්නේ ඇයි යන තර්කයයි.
ඒ තර්කය මුවාවෙන් ඔවුන් කියා සිටින්නේ, සියල්ල දන්නාවූ දෙවියන්වහන්සේ සිදුවෙන්නට යන අපරාධ නොවලක්වා ඒවා සිදුවීමට ඉඩහැරීම නිසා, ඒ හේතුවෙන් මතුවන සියලු වේදනා වල වගකීම උන්වහන්සේ භාරගත යුතුයි යන චෝදනාවයි. දෙවියන්ට ඇයි මා ගැන නොපෙනෙන්නේ යන ප්‍රශ්ණයත් බොහෝවිට ඉදිරිපත් වන්නේද ඒ අරමුණම මුල්කරගෙනයි.
පුද්ගලික අරමුණු සහ ලෞකිකත්වය මුල්කරගනිමින් සමහරුන් කරන මෙවැනි තර්ක, විවේචන සහ චෝදනා ඇතැමුන් ඉදිරිපත් කරන්නේ දේව සංකල්පය පිළිගැනීමට ඇති අකමැත්ත උඩයි. ඒ අතර දෙවියන්වහන්සේ යන ඒ සත්‍යය ගැන හරි අවබෝධයක් නොමැති හේතුව නිසාත් සමහරුන් එවැනි චෝදනා දෙවියන්ට ඉදිරිපත් කරනු පෙනෙයි.
සත්‍යය තහවුරුකර ගැනීම වෙනුවෙන් හෝ ඇත්ත නැත්ත තෝරා බේරා ගැනීම වෙනුවෙන් හෝ කෙරෙන ඕනෑම තර්කයක් අසාදාරන නොවුණත්, එසේ නොවී, තම පුද්ගලික අකමැත්ත මුල්කරගෙන හෝ සත්‍යය පිළිගැනීමට ඇති අකමැත්ත උඩ හෝ කෙරෙනා ඕනෑම තර්කයක් සාදාරන නොවන්නේ, ඒවා පටු අරමුණු මුදුන්පත් කරගැනීම වෙනුවෙන් පමණක් සීමාවී ඉදිරිපත් කෙරෙන ඒවා වීමයි. එබැවින් එවැනි විවේචන ඉදිරිපත් කරනා පුද්ගලයන්ගේ අරමුණ වෙනස් එකක් බවත් මෙහිදී අප ඒ ගැන තේරුම් ගතයුතුයි.
සත්‍යය සොයාගනු පිණිස කරණු ලබන ඕනෑම ප්‍රශ්ණ කිරීමක් හෝ තර්ක කිරීමක් තුළ කිසිම වැරද්දක් දැකීමට නොහැක්කේ, සැබෑ සත්‍යය ග්‍රහණය කරගැනීමට නම් පළමුවෙන්ම ඒ ගැන ප්‍රශ්ණ කිරීම, ප්‍රශ්ණ ඇසීම පමණක් නොව නුමුත් සත්‍යය සොයා ගැනීමට වාද විවාද කිරීම පවා අවශ්‍යය වීමයි. නුමුත් ඒ ප්‍රයත්නය එතැනින් නතර නොවන්නේ, අවසානයේදී සත්‍යය ලෙසින් ඉස්මතුවන සියලු සත්‍යය සාධකද කිසිම බේදයකින් තොරව පිළිගැනීමටත්, ඒවාට ගරුකිරීමට කැමතිවීමත් එයට අඩංගු වීමේ හේතුවයි.
එසේ නොමැතිව තම පුද්ගලික මතය පමණක් හරියැයි කියාසිටීම වෙනුවෙන් හෝ යමක් පිළිගැනීමට ඇති පුද්ගලික අකමැත්ත උඩ හෝ පමණක් යමෙක් තර්ක කරන්නේ නම්, එය පෙන්වාදෙන්නේ, ඒවා පටු අරමුණු මුදුන්පත් කරගැනීම උදෙසා කරන වාදකිරීම් පමණක් බවයි. ඕනෑම උත්සාහයක අරමුණ දුෂිත වන විට එහි අවසාන ප්‍රතිඵලද දුෂිත ඒවා බවට ඉබේම පෙරළෙයි.
මිනිසුන් වන අප සැමවිටම අප ගැන පමණක් සිතා ක්‍රියා කරන බව රහසක් නොවෙනා අතරම අපත් බොහෝවිට අප අතින් සිදුවන අනිසි විපාක වල වගකීම පිලිනොගැනීමට හෝ එය වෙනකෙනෙක් මත පටවා එයින් බේරී යාමට ඉක්මන් වන්නේද, මිනිසුන්වන අප තුල රජයන ආර්ත්මාර්ථකාමී ස්වාභාවයද හේතුකරගෙනයි. ආර්ත්මාර්ථ කාමිත්වය අප තුල රජයනවිට වගකීම පැහැරහැර ක්‍රියාකිරීමට එය මඟපාදයි. මිනිසුන් හැටියට බොහෝදුරට අපි අපගේ වගකීම වෙනකෙනෙකු මත පටවා ආර්ත්මාර්ථකාමීව ක්‍රියා කිරීමට දරන මේ උත්සාහය ගැන උදාහරණයක් මෙසේ කිව හැකියි.
එයත් හරියට, මා අතින් මිනිසෙකු ඝාතණය වන්නේ “පොහොසත් පියා මට මුදල් දුන්නේ නැති නිසා” යයි කියා තම වැරැද්දේ වගකීම තම පොහොසත් පියා ගත් තීරණය නිසා සිදුවූවක් බව පෙන්වාදෙමින්, වගකීම වෙන අතකට යොමුකිරිමට දරන උත්සාහය වාගේ වැඩකි.
මෙහිදී ඉදිරිපත් කරන තර්කය වන්නේ; මා අතින් මිනිහෙක් මැරෙන්නේ මුලින්ම පියාගෙන් මා මුදල් ඉල්ලා සිටිද්දී මාගේ පොහොසත් පියා මට මුදල් නොදුන්න හේතුව නිසා යැයි කියා කරණ තර්කයයි. ඒ අනුව මා හොරෙක් වන්නේත්, එසේම මම හොරකමේ යද්දී මා අතින් මිනිස් ඝාතනයක් සිදුවන්නේත්, මුලින්ම මම මාගේ පියාගෙන් මුදල් ඉල්ලා බලකරද්දී පවා ඔහු මට මුදල් නුදුන් හේතුව නිසා යැයි කියමින් වගකීම පියා කෙරෙහි යොමුකිරීමට දරන උත්සාහයයි. මෙහිදී මේ තර්කය තුළින් පෙන්වාදීමට උත්සාහ කරන්නේ; මම මුලින්ම පියාගෙන් මුදල් ඉල්ලා සිටිද්දී ඔහු මට මුදල් දී තිබුනා නම්, මා සොරකම් කිරීමේ නොයෑමට එය හේතුවනවා වාගේම, එවිට මා අතින් මිනිස් ඝාතනයක් සිදු නොවන්නටද එය හේතුවන බවත් පෙන්නා දීමයි. ඒ තර්කයේ අරමුණ වන්නේ “වගකීම” වෙන අයෙකු පිට පැවරීමට දරණ උත්සාහයයි.
මෙලොව අපරාද සිදුවන්නේත් මේ ලෝකය මෙයාකාරයෙන් ක්‍රියාවට නැගෙන්නේත් එහි ජිවත්වන අපගේම ක්‍රියාකලාපයන් හේතුවෙන් වුවත්, දෙවියන් පිළිගැනීමට ඇති අකමැත්ත උඩ සියල්ලේ වගකීම අවසානයේදී දෙවියන් බව පමණක් පවසන බොහෝදෙනා අප අතර සිටියි. මෙහිදී එසේ කිරීම සාධාරණද නැද්ද? හරිද වැරදිද? යුතුද අයුතුද? යන්න එවැන්නන්ට වැදගත් නොවන්නේ, තමා ගැනත් තම වාසිය ගැනත් පමණක් නොව නුමුත් තමන් පමණක් හරියයි පෙන්නාදීමට ඕනෑම තර්කයක් ඉදිරිපත් කිරීමටත් පුරුදුවී සිටින මිනිසුන් බවට අපි පත්ව සිටින හේතුවයි.
දෙවියන්වහන්සේ සියල්ල දන්නාවූ අයෙකු වූ නිසාම සියල්ලේ වගකීම උන්වහන්සේ පිට පැවරෙයි යනුවෙන් පැවසීමක්ද අපට කල නොහැක්කේ මිනිසුන් හැටියට අපි සියලුදෙනාම වගකිව යුත්තන්ද වන නිසායි. වගකීම පැහැර හරිමින් ක්‍රියා කරනවිට අපගේ හෘද සාක්‍ෂිය පවා අපටම විරුද්ධව බොහෝවිට නැගී සිටින්නේත් ස්වභාවයෙන්ම මිනිස් වර්ගයා වගකීමෙන් යුතුවූ පුද්ගලයන් ලෙසින්ද දෙවියන්වහන්සේම විසින් සදා මවනු ලබා තිබීමයි. අපරාධ හෝ යුධගිනි ඇවිලීම නිසා මිනිසුන් අසරණවී දුක් විඳින්නෙත් මිනිසුන්ම විසින් ගන්නා තීරණ සහ ක්‍රියාකලාපයන්ගේ ප්‍රතිඵල නිසාම වුවත් ඒ වැරැද්ද පවා දෙවියන් මත පැටවීමට තරම් අපි අන්ධයන් වී ක්‍රියා කරන්නේ ස්වභාවයෙන්ම අපි පව්කාරයන්ද වන හේතුව නිසායි.
ඒ ගැන පාවුල් තුමා රෝම සභාවට කියා සිටින්නේ, පළමු මිනිසාවූ ආදම් දෙවියන්වහන්සේට අකිකරුවිම නිසා පව්කාරයෙකු වූ බැවින්, ඒ මිනිසාගෙන් උපන් අපි සියලුදෙනාම එබැවින් පව්කාරයෝ වන බවයි. “කිසි ප්‍රභේදයක් නැත. මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති.” -රෝම 3:23
සිදුවෙමින් පවතින මෙන්ම ඉදිරියේදී සිදුවීමට යන සියල්ල ගැනත් සම්පුර්ණ අවබෝධය උන්වහන්සේට තිබුණත්, මෙළොව සිදුවන අපරාධවලට හෝ අප එකිනෙකාගේ පුද්ගලික ජිවිතවල සිදුවෙන සෑම සිදුවීමක් පිළිබඳව වගකීම උන්වහන්සේ පිට පැටවිය නොහැක්කේ, අප අවට සිදුවන සියලු අපරාධ මෙන්ම අනෙක් සියලු දේ පිටුපසත් මිනිසුන් වන අපගේම වංක තීරණ සහ ක්‍රියාකාරකම්ද බලපාන හේතුවයි. ලෝකය මෙවැනි තත්වයකට පත්වීමට මුල්වුයේද පළමු මිනිසාගේ අකීකරුකම නිසා බවත් දේව වචනය කියා සිටියි.
බයිබලයේ පරණ ගිවිසුම තුළ ඇති දෙවියන්වහන්සේ සහ යෝබ් නමැති ධර්මිෂ්ඨ මනුෂ්‍යයා අතර සිදුවූ සංවාදයද දෙවියන්වහන්සේට පමණක් ආවේනිකවන උන්වහන්සේගේ මේ අසීමිත ස්වභාවයන් මෙන්ම, පාපයේ නමැති බලවේගය නිසා සීමිතව සහ දුර්වල තත්වයේ අසරණවී ජිවත්වන මිනිසාගේ ඒ සැබෑ ස්වභාවය ගැනත් පැහැදිලි අවෝධයක් ලබාගැනීමට උපකාරීවන වැදගත් උදාහරණයක් සපයයි.
(ඒ ගැන ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට කැමති නම් යෝබ්ගේ පොත කියවන මෙන් ඉල්ලා සිටිමි.)
තමා ධර්මිෂ්ඨ යැයි හේතු දක්වමින් තම මිතුරන් සමගින් ඒ ගැන තර්ක කරමින් නැගී සිටිය යෝබ් නමැති ඒ ධර්මිෂ්ඨ මිනිසාගෙන් අවසානයේදී දෙවියන්වහන්සේද මෙසේ ප්‍රශ්ණ අසා සිටිය බවත් යෝබ්ගේ පොතේ සඳහන් වෙයි.
“මා පොලොව පිහිටවූ කල නුඹ කොතැන සිටියෙහිද? නුඹ දන්නෙහි නම් කියාපන්න.
ඒකේ මිමි නියම කලේ කවුද? නුඹ දන්නෙහිද? ඒකේ අත්තිවාරම් දැමුවේ මොකක් පිටද? පහන් තාරකා එක්ව ගීතිකා කරමින්,
දෙවියන්වහන්සේගේ සියලු පුත්‍රයන් ප්‍රීති ගෝෂා පවත්වද්දී, ඒකේ කොනේ ගල තැබුවේ කවුද?
එලිය විහිදෙන්නෙත්, නැගෙනහිර සුළඟ පොලොව පිට පැතිරෙන්නේත්, මොන මාර්ගයෙන්ද? අකුනුවල විදුලියට මාර්ගයක් විවර කළේ කවුද? අහසේ තරු වැල බඳින්නට නුඹට පුලුවන්ද? නුඹ අහසේ නියෝග දන්නවාද? එකේ ආණ්ඩු බලය පොලොව කෙරෙහි පිහිටුවන්නට නුඹට පුලුවන්ද?
වතුර රාශියක් නුඹ පිටට පැමිණෙන හැටියට වලාකුල් වලට අණ කරන්නට නුඹට පුළුවන්ද? වර්ෂාවට පියෙක් ඇද්ද? පිනි බින්දු ඉපදෙව්වේ කවුද? නුඹ දන්නෙහිද? දන්නවා නම් කියා පන්න?
ආලෝකයේ මායිම් නුඹ දන්නෙහිද? දන්නවා නම් කියා පන්න?
එය අල්ලා ගන්නාවූ මාර්ගය කුමක්ද? දන්නවා නම් කියා පන්න?
අන්ධකාරයේ නවාතැන කොහේද? දන්නවා නම් කියා පන්න?
එය එතැනට ගෙනයෑමට නුඹට හැකිද? දන්නවා නම් කියා පන්න?
ඒ මාවත් නුඹ විසින් තේරුම් ගත හැකිද? දන්නවා නම් කියා පන්න?”
- යෝබ් 38
දෙවියන්වහන්සේ සතු උන්වහන්සේගේ බලය හෝ ඥාණයේ පරිමාව තුළනය කරගැනීමක් තියා ඒ ගැන සිතා ගැනීමටවත් අපට නොහැකි වන්නේ, මනුෂ්‍යයන් වන අප ජිවත්වන අපගේ මේ ශාරීරික ස්වභාවය පාපයේ නමැති ඒ බලවේගය හේතුවෙන් දුෂිතවීමේ හේතුවෙන් අප ආත්මිකව මෙන්ම ශාරීරිකවත් සීමාසහිත මිනිසුන් බවට පත්වී ධර්මිෂ්ඨ දෙවියන්වහන්සේ ගෙන් වෙන්කරනු ලබා සිටින නිසායි.
ආරම්භයේදී මිනිසා දෙවියන්වහන්සේගේම ස්වරුපයට අනුව ධර්මිෂ්ඨව සාදා මවනු ලැබුවත්, පළමු මිනිසාගේ ඒ අකීකරුකම හේතුවෙන් ඒ සියල්ල අපෙන් පහවී ගිය බවත්, එසේම අප පමණක් නොව නුමුත් ඒ හේතුවෙන් අප ජිවත්වන මේ ලෝකය පවා ඒ පාපය නමැති බලවේගය තුල හිරවී අවසාන විනිශ්චය තෙක් සිටිනා බවත් දේව වචනය එළිදරව් කරසිටියි.
දෙවියන්වහන්සේට පමණක් ආවේණික වූ විශේෂ ස්වභාවයන් වන සර්වබලය සහ සර්වඥාණය වැනි ස්වභාවයන් ගැනත් පෙන්වා දක්වමින් උන්වහන්සේ මෙහිදී යෝබ්ගෙන් එවැනි ප්‍රශ්ණ කීපයක් අසා සිටින්නේ; ඔහුව සුළුකර විවේචනය කිරීමට හෝ පහත්කොට පෙන්වීමට නොව, නුමුත් පාපය නමැති ඒ බලවේගයට හසුවී එහි බලය හේතුවෙන් දැන් සියලු සීමාවන් වලින් බැඳී එතුල අසරණවී සිටින මිනිස් වර්ගයාගේ ආත්මික තත්වය මෙන්ම අප ජිවත්වන වාතාවරණය ගැනත් යම් ආකාරයක වටහාදීමක් යෝබ්ට පෙන්වාදෙන පිණිසයි. දෙවියන්වහන්සේ සහ මිනිසා අතර ඇති වෙනස්කමේ ගැඹුර එය පැහැදිලිව පෙන්වාදෙයි.
ආත්මික දෙවියන්වහන්සේ ගෙන් වෙන්වී පාපය නමැති ඒ බලවේගයේ වහලුන් වී ජීවත්වීමට සිදුවීම මොලොව අප මුහුණදෙන සියලු වේදනාවලට ඇති හේතුවෙයි. පටන්ගැනීමේදී අකීකරුකම හේතුවෙන් අප උරුමකරගත් මේ පාපිෂ්ඨ ස්වභාවය නමැති “බෙදීම” මේ සියල්ලට මුල්වූ බව දේව වචනය පැහැදිළි කරසිටියි. ඒ අනුව පළමු මිනිසාගේ අකිකරුකමේ ප්‍රතිඵලය වර්තමානයේ අප මුහුණදෙන සියල්ලට හේතුවෙයි.
මේ යථාර්තය යෝබ්ගේ ජීවිතය ගැන පමණක් නොව නුමුත් මිනිසුන් වන අප සියලු දෙනාගේම ජිවිත මෙන්ම අප සියලු දෙනා මුහුණ දෙන සැබෑ ආත්මික ස්වභාවය බවත් දේව වචනය පැහැදිළි කරසිටියි.
මිනිස් වර්ගයා ආත්මිකව මෙන්ම ශාරීරිකවද සීමාසහිත මිනිසුන් බවට පත්කිරීමට තරම් බලවත්වූ මේ (පාපිෂ්ඨ) ස්වභාවය තුල අදටත් හිරවී පීඩා විඳින අප, ඒ ගැන දෙවියන්වහන්සේම පිට වරද තැබුවත්, ඒ තත්වය මිනිස් වර්ගයා විසින් ඇති කරගත් එකක් බව පිළිගැනීමට බොහෝවිට අපි අකමැති වෙයි.
“සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනවී සිටිතියි” යනුවෙන් ප්‍රකාශකරමින් පාවුල් තුමාද ඒ ගැන අලුත් ගිවිසුමේ පවා පෙන්වාදෙන්නේත්, මිනිසුන්වන අපි සියලු දෙනා ජිවත්වන මේ දුර්වලකමෙන් මිදීමට ඇති එකම මාර්ගයද දෙවියන්වහන්සේම පමණක් යන පණිවිඩයයි.
දෙවියන් කෙරෙහි විශ්වාසය තැබීමට හේතු සාධක අවශ්‍යය නම්, ඒ ගැන ඕනෑවටත් වඩා හේතු සාධක අප ඉදිරියේ තිබෙයි. උන්වහන්සේ ගේ ක්‍රියාවන් ගැන කල්පනාවෙන් සොයා බලන්නේ නම්, උන්වහන්සේගේ වචනය වෙත උවමනාවෙන් අවධාණය යොමු කරන්නේ නම්, උන්වහන්සේගේ පොරොන්දු ගැන විපරම් කරමින් ඒවා තේරුම් ගැනීමට උත්සාහ දරන්නේ නම්, එවිට දෙවියන්වහන්සේ යන ඒ සත්‍යයය සහ උන්වහන්සේගේ ජීවමාන භාවය මෙන්ම උන්වහන්සේ සතු උන්වහන්සේගේ බලපරාක්‍රමය, අසීමිත ඥාණය, ප්‍රඥාව, මෙන්ම ප්‍රේමය සහ කරුණාව යන මෙවැනි ගුණාංගයන් ගැනත් පුද්ගලිකව අත්දැකීම් ලබාගැනීමට හැකි මාර්ග ඕනෑතරම් අපට සොයාගත හැකියි.
දෙවියන් යන ඒ "සත්‍යය" අත්දැකීම සඳහා යමෙකුට අවශ්‍යවන්නේ, සත්‍ය සොයා දැනගැනීමට ඇති ආසාව සහ තමන් සොයා ගත් ඒ "සත්‍යය අත්දැකීම" පිළිගැනීමට අවශ්‍යය කැමැත්ත පමණි. එබැවින් බයිබලය එළිදක්වන ඒ දෙවියන්වහන්සේ ගැන ලියැවී ඇති වාර්තා කියවා සොයාබැලීම පමණක් අපව ඒ සත්‍යය සොයා දැනගැනීමටත් එසේම අප වෙනුවෙන් ඇති උන්වහන්සේගේ සැළැස්ම සහ කැමැත්ත අවබෝධකර ගැනීමටත් මඟ පාදයි.
"ස්වකීය ඇඟිලිවල වැඩයවූ ඔබගේ අහස් තලයත් ඔබ පිහිටවූ සඳ මඬල සහ තාරකා ගැනත් බලා, කල්පණා කරණ කළ; ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? -ගීතාවලිය 8: 3-4
දෙවියන්වහන්සේට පමණක් ආවේණික වන මෙවැනි ගුණාංගයන් උන්වහන්සේ පමණක් දෙවියන් බවත් හඬගා පවසයි. ඒවා සියලු බලයෙන් සහ ඥානයෙන් සපිරි ඒ දෙවියන් ඉදිරියේ දැන නැමීමටත් අපව පොළොඹවයි.
(දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි. /©2016- darmadasa.org)